Friday, December 3, 2010

අවුරුද්දකට පසුව - කෝපි

අවුරුද්දකටත් ‍වැඩි‍ය ‍වැඩි‍ කාලෙකට පසුව ලියන්න හිතුනම මට හිතුනා හැමදේම වෙනස් කරන්න ඕන කියල. ඉතින් අලුත් නමක්, අලුත් පසුබිමක් එක්ක මම ආයෙම ආවා. මේ අවුරුද්දට කොච්චර නම් දේවල් උනාද, ඒත් ඉතින් ඒ හැමදේම ගැන කියන්න දැන් වෙලාව නෙමෙයි. ලියන්න ඕන උනත් පද ගැලපෙන්නේ නැත්තම් ‍මොනව කරන්නද?

මම කෝපි වලට ‍කවදත් කැමතියි. තේ ‍වගේ නෙමෙයි කෝපි බිව්වම මට හිතට සැහැල්ලුවක් දැනෙනවා. සීනි අඩුවෙන් දාලා බොන තිත්ත කෝපි කවදත් මට රහට දැනෙන්නේ ඒ සැහැල්ලු බව නිසා වෙන්න ඇති.

නැවත හමු වෙන තෙක් සුභ කලක්....

Thursday, November 19, 2009

"නුඹ පුතු දුටු දින මවක වුනෙමි මම"

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ නොවැම්බර් මස විසි වෙනිදා, සිකුරාදාවක්.

"නුඹ පුතු දුටු දින මවක වුනෙමි මම"

රළ බිඳෙනා වැව් ඉස්මත්ත මත
තනිකඩව පා නගනා සැදෑවක
ඒ කෙළිලොල් වූ දෙනයන හා සිනහව
දුටිමි මම එක් මොහොතකට

ඒ නුඹේ දෙනයනයි ඒ නුඹේ සිනහවයි
ඒ නුඹේම පුංචි රුවයි
නැත වරදින්නේ මා හට කිසිදින
ඒ නුඹේම පුංචි පුතු බව සැක නැත

ඈත ක්ෂිතිජය වෙත අත දිගු කොට
කුමක්දෝ ඇසූ විට ඒ නෙත් ලොකු කර
ගෙන දෝතින්ම ඔහුව තුරුලට
පැවසීය නුඹ යමක් සිනහව

මුවා වී නුග රුකට නොසෙල්වී
නැරඹුවෙම් ඔබ තිදෙන කෙළිකම් කරන අපූරුව
සොඳුරු පවුලක මිහිරියාව
නංවමින් මතකයට බොඳව ගිය ඒ සොඳුරු සිහින

පෙර ඔබේ පෙම්වතිය වී සිටි දින
පෙරුම් පිරුවෙමි මමද දින දින නිබඳව
කෙදිනක හෝ ලබන්නට මාතෘත්වය
විදිමින් නුඹේ පහස සැම දින

මද පවන දසත පැතිරෙනා නිමේෂයක
නොහැකිද මටත් මවක වන්නට
නුඹ පුතු නලවමින් මොහොතකට
බොඳව ගිය සිහින වෙනුවෙන් සිත පුරාවට



නැවත හමු වෙන තෙක් සුභ කලක්....

Saturday, October 31, 2009

ගෝරා

විනය

""ගෝරා මට ස්ථිරවම කියන්න පුළුවන් කෙනෙකුගේ ගති ස්වභාව එක් මොහොතකින් අවදි කරන උපාය ආදරය බව. මොන කාරණයක් නිසා හරි අපි අතර නියම ආදරය ඉතා දුර්ලභයි. ඒ නිසයි, අපි හැම දෙනාටම සම්පූර්ණ අවබෝධය ලැබෙන්නේ නැත්තේ. අපේ අභ්‍යන්තරයේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නෑ. අපි ඇතුළේ සැඟවිලා තියෙන දේ එළි දක්වන්න අපිට බෑ. අපි ඇතුළේ එක් රැස්වෙලා තියෙන දේ වැය කරන්න අපිට බෑ.ඒ නිසයි හැම තැනම මේ වගේ අසහනයක් පවතින්නේ. ඒ නිසයි අපේ අභ්‍යන්තරයේ තියෙන මහත්මා ගති ගෝරා වගේ දෙතුන් දෙ‍නෙකුට විතරක් තේරෙන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ඒ ගැන හැඟීමක් නෑ.""

ගෝරා

"කිසියම් සුභ ක්ෂණයකදී ස්ත්‍රි පුරුෂයන්ගේ ප්‍රේමය ඇසුරු කරගෙන වචනයෙන් කිව නොහැකි එක්තරා අසාමාන්‍ය මිනිස් ස්වභාවයක් මතුවන බව විනය පැවසූ විට ගෝරාට පෙර මෙන් සිනාසී ඒ කථාව ඉවත දැමීමට හැකි වූයේ නැත. එය සාමාන්‍ය හමුවීමක් නොවන බවද, ඒ ඇසුරින් ජීවිතයේ ඇති සියලු දේවල ඇති වටිනාකම වැඩිවන බවද විනය පැවසීය. එය කල්පනාවලට දේහයක් දී ඒ දේහයට ප්‍රාණය පුරවන බවද, එය ප්‍රාණය තුළ ප්‍රාණය ද, මනස තුළ චින්තනයද, දෙගුණ කරනවා පමණක් නොව ජීවිතයට නව රසයක් ලබා දී අභිෂේක කරන බවද ගෝරා සිතින් පිළි ගත්තේය."

රවින්ද්‍රනාථ ඨාකූරයන්ගේ "ගෝරා" මා වැඩියෙන්ම ආදරය කරන නවකතාවයි. මේ, චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි විසින් පරිවර්තිත එම නවකතාවේ උපුටා ගැනීමකි.


‍‍

"ගෝරා නිසැක වශයෙන්ම රවින්ද්‍රනාථ ඨාකූරයන්ගේ විශීෂ්ඨතම නවකතාවයි. මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථය අද අන් කවරදාටත් වඩා අපට අදාළය." - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Monday, September 28, 2009

"සුදු අරලිය මල් වැටුනු බිමක"

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස විසි අට වෙනිදා, සදුදාවක්.

"සුදු අරලිය මල් වැටුනු බිමක"

මේ මද පවන
මා වත කමළ
සිප ගන්නා
නිමේෂයක
මැවී නොපෙනෙනා
ඔබ රුව
රැගෙන යයි මා සිත
මතකයන් පිරි
ඒ අතීතයට..

අතැඟිලි පටලවා එකිනෙක
වෙර‍‍ළේ අප ඇඳි පා රටා
මැකීගියේ රළ පහරට
සිහිනයන් මෙනි අප මැවූ අනාගතයට

හිරු බැස යන සොඳුරු සැදෑවක
වෛවාරණ අවන්හලක සිට
එකම තේ කෝප්පයක විදි රස
සදා ඇත මතකයේ මා හද තුළ

දෙඇඟිලි එක් කරන්නට
නොහැකි වූ කල්හි
මේ බිඳුනු සමාජය තුළ
සමුගෙන ගියා මතකයි
සිනහවක් මුවඟ රඳවා

කාලය ගෙවී ගොස්ය
එක් නර කෙසක් නොව බොහොමයකි
වාරු නැති දෙපයද හා සමඟ
තනිවමයි මා
එදා අද මෙන් හෙටද

සුදු රෙදි මතින් නැඟෙනා
කළු දුම් වළාවන්
පෙනෙයි මට
මවනා රටා අහස් කුස
සමුගෙන ඇත
අද නැවත ඔබ‍
එනමුදු එකටමයි
අප දෙදන
මේ සංසාරය
පවතින තුරාවට




නැවත හමු වෙන තෙක් සුභ කලක්....

Sunday, September 20, 2009

ගත්තු පොත්..

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස විසි එක් වෙනිදා, සඳුදාවක්.

කලින් හිතාගෙන හිටපු විදියටම 19 වෙනිදම ගියා 11 වන වරටත් පවත්වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න.

මේ තියෙන්නේ ගිහින් ගත්තු පොත්...



නැවත හමු වෙන තෙක් සුභ කලක්....

Friday, September 18, 2009

වෙනස්වීම

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ සැප්තැම්බර් මස දහ අට වෙනිදා, සිකුරාදාවක්.

කාර්යාලයේ අද දිනයට හිමි වැඩ අවසන් උනත් කාර්යාලීය වේලාව අවසන් වීමට තව සුළු වේලාවක් ති‍බෙන නිසා සටහනක් තබන්න හිතුවා.

මා දැන් සවන් දෙන ගුණදාස කපුගේ මහත්මයාගේ ඉතා රමණීය ගී පෙළ, පැටලුනු නූල් ‍බෝලයක් වගේ තියෙන මගේ සිතුවිලි සමුදායටත් ඇති වී නැති වී යන අනේක විද හැඟීම් ධාරාවටත් කිසියම් වූ සැනසීමක් එක් කරනවා.

මේ බිනර මහ, මගේ ජීවිතයට වි‍ශේෂයි.
කාර්යාලීය අංශ මාරුව නිසා ඊයේ ඇතිවුනු තැන් මාරුවෙන් පසු අලුත් පරිසරයකට හැඩගැහැමින් ගෙවුනු අද දවස, මේ මාගේ වෙනස්කමේ මාසය බව මට පසක් කර දෙයි. ලෝකයේ වෙනස් නොවන එකම දේ ‍වෙනස් වීම යනුවෙන් යමෙක් කියනු මා අසා ඇත.

මා සිටිනා තැනට කවුළුවකින් ඈත අහස නොපෙනුනත්, මේඝ වළාවන් කුමක් හෝ හේතුවක් මත නැවත වරක් කඳුළු සැලීමට පෙරුම් පුරන බව මට හැඟී යයි.

ඉදින් හිරු බැස යන මේ නිමේශයේ, අවසරයි සමුගැනීමට.

නැවත හමු වෙන තෙක් සුභ කලක්....

Wednesday, August 19, 2009

"අටවක පුත්තු" සහ "අකුරු මං පෙත"

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අගෝස්තු මස දහ නම වෙනිදා, බදාදාවක්.

ඔන්න මම ආයෙත් ආවා.

පොත් කියන්නේ මගේ ජීවනාලි‍ය වගේ. හුඟක් වෙලාවට IIT වැල්ලවත්තෙයි (මම ඉ‍ගෙන ‍ගන්න තැන), කාර්යාලෙයි, ගෙදරයි විතරක් ගමනාගමනයේ යෙදෙන මට, පොතක් අතට ගත්තම ලෝක වටේ වගේම මගේම ලෝකයකටත් ගමන් කරන්න පුළුවන්. ඒක නිසා මාසයකට එක් වරක්වත් හොඳ පොතක් කියවන්න හැකි තරම් උත්සහ කරනවා.

ඉතින් අද මම සිංහල බ්ලොග් කියවනයේ අලුතින් තියෙන බ්ලොග් සටහන් කියවගෙන යනකොට තමයි පිටස්තරයා ලියපු "හෙටට පෙර අටවක පුත්තු" සටහන දැක්කේ. මගේ මතකයත් වසරකට විතර කලින් කියවපු "අටවක පුත්තු" පොතට ඇඳී ගියා. ඇත්තටම මම කියවලා තියෙන සිංහල, ඉංග්‍රිසි පොත් අතරින් සහ ඉන්දියානු, රුසියානු හා නානාප්‍රකාර පරිවර්තන පොත් අතරිනුත් කියවලා තියෙන විශිෂ්ඨම කෘතියක් තමා "අටවක පුත්තු". ජීවිතය ගැන යමක් ඉගෙන ගන්න, අවබෝධයක් ලබා ගන්න කියවිය යුතුම පොතක්.

පුළුවන් උනොත් යන්න ඕන නුගේගොඩ සරසවි නව ගොඩනැගිල්ලේ අද (අගෝස්තු 19 බදාදා) හවස 5.45ට පැවැත්වෙන "අකුරු මං පෙත" පස් වන වැඩසටහනට සහභාගි වෙන්න. මේ වැඩසටහන ගැන මීට කලිනුත් අහලා තිබුනට වැඩි විස්තරයක් දන්නේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. මේ පිළිබඳව සටහනක් තබපු පිටස්තරයාට බොහොම ස්තුතියි.

නැවත හමු වෙන තෙක් සුභ කලක්....