Thursday, March 5, 2009

ක්‍රිඩාව සහ ත්‍රස්තවාදය...

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ මාර්තු මස පස් වෙනිදා, බ්‍රහස්පතින්දාවක්. අවසාන වරට සටහන ලියලා අදට සතියක් වෙනවා.

මෙච්චර ‍කොටි ගහන රටේ ආරක්ෂා සහිත‍ව හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් පිලට පකිස්තාන සංච‍ාරයේදිම එල්ල වුනු ත්‍රස්ත ප්‍රහාරය ප්‍රශ්න ගොඩකට මුල පු‍රන්නක් උන‍ා. ක්‍රිකට් පිලේ කට්ටිය‍ට ද‍ිවි ගලවගන්න පුළුවන් කම ලැබුනත්, ඒ තරම් වාසනාවන්ත නොවුනු පිරිසකුත් හිටියා. 1972 වර්ෂයේ මියුනික් (Munich) ඔලිම්පික් උළෙලේදි ඊශ්‍රායල ක්‍රිඩකයින් මරා දමමින් එල්ල වුනු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිඩකයින් ඉලක්ක කර ගෙන එල්ල වුනු දැවැන්තම ප්‍රහාරය මෙයයි. මේ සිද්ධීය 2011 වර්ෂයේදි දකුණු ආසියාවේ පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ඍජුවම බලපාන අතර පකිස්තාන ක්‍රිකට් ක්‍රිඩාවේ අනාගතයට කණ කොකා හැඩීමක්ද එරට ත්‍රස්ත මර්දනය පිළිබදව ප්‍රශ්නාර්ථයක්ද මතු කරනවා. එනිසාම වන්නට ඇති දේශීය මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍යත් මෙයට සෑහෙන ගුවන් ක‍ාලයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන් අමෙරිකානු සී.එන්.එන් වැනි බටහිර මාධ්‍ය ජාලයන් මෙය පකිස්තානයේ අනාරක්ෂිත බව පෙන්නුම් කරන බවද කියා තිබුනා. බටහිර රටවල් මොනවා කිව්වත් දකුණු ආසියාවේ තියෙන සමහර ත්‍රස්ත කල්ලි වල බැංකු පොත් පුරවන්න ඒගොල්ලොත් උදව් වෙන බව විවාදයකින් තොරව පිළිගන්න ඕන. එයට කදිම උදාහරණය තමා කොටි ත්‍රස්තවාදීන්.

ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක්ම ආරක්ෂක හේතූන් මත පකිස්තාන සංච‍ාරයන් අවලංගු කර තිබූ අවස්ථාවක ශ්‍රි ලංකා ක්‍රිකට් පිල පකිස්තාන සංච‍ාරය සදහා සහභාගි වූයේ, 1996 වර්ෂයේ දකුණු ආසියාවේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදි ආරක්ෂක හේතූන් මත ලංකාවට පැමිණීම ක්‍රිකට් කණ්ඩායම් ප්‍රතික්ෂේප කර තිබූ අවස්ථාවක ලංකාවට පැමිණි කණ්ඩායම් දෙක අතුරින් එකක් පකිස්තානය වීම බැවින් එයට කළගුණ සැලකීමක්ද වශයෙන්. එය අවිවාදයෙන් අගය කල යුතු කාරණයක්.

මොනවා උනත් මේ සියල්ල අරගෙන බලද්දි වැඩිම පිළිකුල් සහගත ක්‍රියාව වෙන්නේ, අපේ රටේ ඉන්න සමහර දේශපාළුවන් සිද්ධ වෙච්ච දේවල් ළග එන පුංචි චන්දෙට වාසි ගන්න යොදා ගන්න එකයි. එක වෙලාවකට බැලුවම උන් කියන විකාර අහන් ඉන්න අපිත් මෝඩයෝ. දැන් ඉතින් කරන්න තියෙන දේ තමා, තුවාල උන කට්ටිය ඉක්මනට සුව කරගන්න ඕන දේවල් කරන එකයි, ආයේ මෙහෙම දෙයක් නොවන තැනට කටයුතු කරන එකයි.

ප.ලි.

අළුත් විදුලි බිල් ප‍නත පහුගියදා සම්මත උනා. ජ.වි.පෙ කිව්වා වගේම මේකෙන් ජාතික විදුලි බල මණ්ඩලයට තිබුන ඒකාධිකාරය නැතුව යනවා. ආණ්ඩුව කිව්ව හැටියට නම් මේකෙන් අපේ ගෙවල් වලට මාසෙකට වරක් එන අර අති රමණීය කොලේ තියෙන ගනන් හිලව් අඩු වෙනවා. අපිත් ඉතින් බල‍ා ඉදිමු මොකද වෙන්නේ කියලා.

නැවත හමු වෙන තෙක් සුභ කලක්....

1 comments:

DoT [ . ] said...

හරිම අපූරුයි ! ඔබගේ දින සටහන් සෑම දිනකම තබන්නට ඔබට හැකියාව ලැබේවා කියා පතමි.