Thursday, March 5, 2009

"බූරුවෙක් එක්ක ගමනක් ගිය දවසක්..."

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ මාර්තු මස පස් වෙනිදා, බ්‍රහස්පතින්දාවක්. තවත් සටහනක්.

"බූරුවෙක් එක්ක ගමනක් ගිය දවසක්..." අනේ මන්දා ඇයි කියල‍ා, දැන් ටික වෙලාවක ඉදන් ඔය වැකිය මගේ හිතට එනවා. මහ පුදුම වැඩක්නේ. අනේ ඉතින් ඔයා කවදා හරි දවසක බූරුවෙක් එක්ක ගමනක් ගිහින් තියෙයිද? මමත් ඉතින් කල්පනා කරලා බැලුවා, ඔළුව එහෙට කරකවලා මෙහෙට කරකවලා උඩයි යටයි හතර දිශාවයි තුනම බලලා, ඔහොම දෙයක් මතක් වෙන්න මං මොන බූරුවත් එක්කද ගමනක් ගියේ කියලා. ඔහොම ඉතින් කල්පනා කරගෙන කරගෙන යනකොට හතර මං හංදියකදි විතර මතක් උනා; ඒ දවස. ඇත්තටම කියනවනම් දවස් කිහිපයක්ම... නෑ නෑ හැමදාම වගේ. දැන් ඔයා හිතනවා ඇති බූරුවෙක් එක්ක ගමනක් යන මාත් බූරුවෙක් කියලා. එහෙම හිතුවත් ඉතින් කරන්න දෙයක් නෑ. ඇයි ඉතින් උදේ හවා පොදු ප්‍රවාහන සේවයේ යන එන කොට ඔය මං කියන ජාතියේ බූරුවෝ ඕන තරම් මුණගැහෙනවා. බස් රියදුරන්, නිකන් රියදුරන්, කොන්දොස්තර මහත්තෑන් වගේම අපේ ඔය මගී ජනතාව කියන උදවියත් බූරු වැඩ කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ඇයි ඔය දිගට වාහන තද බද තියෙන වෙලාවට ඊයේ යන්න තිබුන ගමනක් යන උදවිය ඇවිල්ල‍ා ගහ ගන්නේ අස්සෙන් තමන්ගෙ වාහනේ. අනේ ඉතින් මොනවට කියනවද තියෙන තද බදය තවත් වැඩි වෙන‍වා. ඒ වගේම මහ පාර රේස් පිටියක් කියලා හිතන අයත් ඕන තරම්. ඒ අතර වාහන වලට දෙස් තිය තියා කහ ඉර පෙනෙන මානයේ තියාගෙන අගලෙන් අගලට පාර පනින අපේ අති මිතුරු මගී ජනතාව, මතක් වෙනකොටත් පුදුම ආදරණීය හැගීමක් ඇති වෙන්නේ. ;) තවත් දෙයක්, අපේ ඔය බස් රථ වල ඉන්න රියදුරු මහත්තෑනුය‍ි කොන්දොස්තර මහත්තෑනුය‍ි හරිම කැමතියි බස් රථයේ යන ඒගොල්ලන්ගේ සොයුරු සොයුරියන්ටයි නැන්දලා මාමලටයි අති රමණීය කන්කළු හිත් පිනවන සංගීතයකින් සංග්‍රහ කරන්න. අහල‍ා නැත්තම් මෙහෙම රථයක ගිහින් ඔයත් අහලා බලන්න, ඒ සංගීතයේ තියෙන මිහිරි බව, කන් අඩි රත් වෙච්ච ටෙනිස් බෝලයක් වෙන්නේ නැති ටික විතරයි. හැබැයි ඉතින් හැදෙන හිසරුජාව නම් සංගීතය එක්ක ලැබෙන අමතර වාසියක් කියලා හිතා ගන්න ඕන. මේ දවස් වල අර අධිකරණ ශාලාවේ ඉන්න විනිසුරුතුමන්ලට මහ පුදුම තීරණ දෙන්න හිතිලනෙ. අනේ ඉතින් ඒක නිසා බස් රථ රියදුරුලයි කොන්දොස්තරලයි කට්ටියට නිල ඇදුමකුත් ‍අදින්න වෙලා, අර අමුතුම මැෂිමකින් දෙන එකත් අනිවාර්ය වෙලා. අනේ ඉතින් මේවා දැක්කම මගේ පපුවට නම් මාර දුකක් දැනෙන්නේ. මං අහන්නේ ඒ උදවිය මොන තරම් නිදහසක් භුක්ති විදපු කට්ටියද, නේද? අනේ ඉතින් මේ උදවිය එකක් ගමන් ගියා කියලා මේ කරම් කාලෙකට කිසි නරකක් නම් උනේ නෑ. මොකද බස් එක ඇතුලේ තනි කකුලෙන් හිට ගෙන ගියත් හිනා වෙන්න පුළුවන් තරම් ඉවසීමක් පුරුදු උන නිසා.

නැවත හමු වෙන තෙක් සුභ කලක්....

2 comments:

Pramodh Theekshana said...
This comment has been removed by the author.
Pramodh Theekshana said...

අත්තටම මම කලෙකට පස්සේ කොළඹ ඉදන් මාතරට ආවා මට හිතුනෙ එකත් නිකන් මෙ කියනව වගේ බූරෑවන් එක්ක ගමනක් ආවා වගේ තමා. කලීන සිද්දියක් හොදට ලියල තියෙනව. තවත් ලියන්න ශක්තිය ඔබට ලෑබේවා..!