Tuesday, April 28, 2009

"මැරුණාම මම"

අද ක්‍රි.ව දෙදහස් නවය වර්ෂයේ අප්‍රෙල් මස විසි අට වෙනිදා, අඟහරුදාවක්. බක් මහේ විශේෂම දේ වන අලුත් අවුරුද්දට සුභ පතන්න ප්‍රමාද වැඩි උනත්, කමක් නෑ, හැමෝටම සුභ අලුත් අවුරුද්දක්. :D

"මැරුණාම මම"

මැරුණාම මම,
මගේ පණ එයාලගෙත් පණ
කියලා කියන අයත්
මැරෙයිද?

මාත් ඉතින්
බලන් ඉදියි
උඩ ඉදන්,
ගෙදර හිටියොත්
කෙලින්ම හරි
ඉස්පිරිතාලේ හිටියොත්
මෝචරි‍ය හරහා හරි
ගෙනියන හැටි
මල් ශාලාවට..

ඉතින් එහෙදි කපලා කොටලා
අලුත්ම අලුත් ඇඳුමකුත් අන්දවලා
අර විසිතුරු පෙට්ටියක දාලා
ගෙනත් තියයි සාලේ මැද්දෙන්..
පණ ති‍යෙනකොටවත් නොදැක්ක
මල් ජාති වලින් වට කරලා
පහන් පත්තු කරලා
සුවඳ හමමින් තියෙයි..

අනේ ඉතින්
මේ හිත් පිත් නැති
ශරීර ස්කත්ධය බලන්නත්
උදවිය එයි,
ඇවිත් පොඩ්ඩක්
වටේ කැරකිලා
‍වාඩිවෙයි කාලෙකින් නොදැක්ක
දන්න කියන උදවිය ගාවින්
"අනේඅපොයි, කොහොමද?
කොයි වෙලේද මේක උනේ?"
කියලා පටන් අරගෙන,
"කොහෙද ඉතින්
මේ වගේ වෙලාවක ඇරෙන්න
මුණ ගැහෙන්නෙත් නෑනේ,
ලඟදිම ආපහු මුණ ගැහෙමු.."
කියලා අවසන් කර
සමුදෙයි ඊළඟ මරණය තෙක්..

අනේ මට නම් බෑ
බලන් ඉන්න
දවස් දෙක තුනක්
මෙදෙස,
සමුදෙන්න,
මේ විනාශ වෙන
ශරීර කූඩුවට
එදිනම,
ඔය සුවඳ හමන
මල් පහන්
මුකුත් නැතුව..

මම මැරුණාට
ජීවත් වෙයි
අන් හැමෝම
මටත් ඉතින්
සමහර විට
ලැබෙයි අලුත්
නවාතැනක්..


නැවත හමු වෙන තෙක් සුභ කලක්....

10 comments:

ech said...

"කොහෙද ඉතින්
මේ වගේ වෙලාවක ඇරෙන්න
මුණ ගැහෙන්නෙත් නෑනේ,
ලඟදිම ආපහු මුණ ගැහෙමු.."
කියලා අවසන් කර
සමුදෙයි ඊළඟ මරණය තෙක්..


නියමයි... සරල වචන ටිකකින් මහා දෙයක් කියල තියෙන්නේ.

සහ මේ වදන් සත්‍යායනය (word verification) ඉවත් කලානං ප්‍රතිචාර තව ලැබෙයි.

Lahiru said...

වටින ප්‍රතිචාරයක් දෙන්න තරම් නම් මගේ දැනුම ප්‍රමාණවත් නැහැ‍. හැබැයි හරිම ලස්සනයි. :)

Hiranya said...

@ech ස්තුතියි..

Hiranya said...

@Lahiru ස්තුතියි ලහිරු.. ප්‍රතිචාරය හුඟක් වටිනවා..

DoT [ . ] said...

මේ ගැන විස්තර කරන්න සිංහලෙන් හොඳ වචන ගැලපීමක් මතකයට නොනැගෙන බැවින් සුද්දගෙ භාෂාවෙන් "Well Said" කියා ලිව්වට කම් නැතැයි සිතමි :)

malee_msg said...

නියමයි!

Pramodh Theekshana said...

මම මැරුණාට
ජීවත් වෙයි
අන් හැමෝම
මටත් ඉතින්
සමහර විට
ලැබෙයි අලුත්
නවාතැනක්..

මරණය, ජීවත් වෙද්දිම එකේ නියම අරුත දෙන ඇහැකින් බලල තියෙනව ලස්සනයි....!

Hiranya said...

@DoT [ . ] & @malee_msg & @Pramodh Theekshana ස්තුතියි..

cbc said...

ඇත්තම ඇත්ත... this is GREAT..!!!!

Nevi said...

මේකෙ කියවන කොට මහගම සේකරයන්ගේ "නොමියෙමි" මතක් වෙනවා. සරල නමුත් සංකීර්ණ පැදි පෙලක්...